රසාස්වාද

Thursday, 8 September 2022

සුදු අරලිය(දෙවන කොටස)

 සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය












අවුරුදු දෙක තුනක පටන් කොරෝනා වෛරසයත් ,ආර්ථික ගැටලුත් නිසා ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා එතරම් සුබදායි නොවූයේ පාසල් එන වයසේ වැඩි හරියක් නිවසට වී ගත කිරීමට ඔවුන්ට සිදු වීම නිසා ය.ඉස්සරහට පැමිණෙන කාලය වුවද එතරම් සුබදායි නොවන බව හැඟී ගිය නිසාම මා නිවාඩු දිනයේ ලහි ලහියේ ලක ලෑස්ති වූයේ පොඩි එවුන්ට විෂය සටහන් සකසා දී ඉවර කිරීමට ය.ආච්චි අම්මාගේ දෙතුන් පාරකට ලැබුණු ප්ලේන්ටියට පින් සිද්ද වන්නට සටහන් ටික එක දිගට අවසන් කිරීමට හැකි වීම සතුටට හේතු විය. එකවරම දුරකථනය නාද විය.නුහුරු නුපුරුදු කටහඬකි.


"හෙලෝ මේ සේයා මිස්ද?"


"ඔව් ..කවුද මේ? සේයා තමයි කතා කරන්නෙ.."


"මිස්, මම වැඩිහිටි නිවාසයේ මිසිස් පෙරේරා,ඒක බලාගන්න කෙනා"


"ආ...කියන්න.මුකුත් හදිස්සියක්වත්ද මිසිස් පෙරේරා"


"මිස්ට දැන් වැඩිහිටි නිවාසයට ඇවිත් යන්න පුලුවන්ද,මිස්ට මන්  වැඩි විස්තර ආවම කියනම්කෝ.."


"හරි මට පොඩි වෙලාවක් දෙන්නකො. මන් දැන් ලෑස්තිවෙලා එන්නම්"


ඇමතුම විසන්ධි කල මා අතට අසු වුණු ඩෙනිමත් බ්ලවුස් එකකුත් දමාගෙන වැඩිහිටි නිවාසයට ගියේ විදුලි වේගයෙනි.එයට හේතුව  නම් මිසිස් පෙරේරාගෙ කටහඬ එතරම් සතුටුදායක නොවීම නිසාවෙනි.


වැඩිහිටි නිවාසයට මා ගිය මුල් දිනයේ හිඳ ගත් ගසෙහි, එල්ලු සුදු කොඩියකි.එදා මෙන් මහන්සිද නැත.බඩු මලු පිරුණු විඩාබර දෑතක්ද නැත.නමුත් ඊටත් වඩා වෙහෙසකර ලෙස හිත විඩාබර ය.දෑත් වෙව්ලන්නට විය.සුදු කොඩිය එතරම් සුබ ලකුණක් නොවේ යන්න මට හැඟේ.එදා මහන්සි නිවූ ඒ ගහයට මට හිඳ ගැනීමටත් ප්‍රාණවත් ගතියක් අද නැත.වැඩිහිටි නිවාසයට මා ඇතුලු වූයේ නරක දෙයක් සිදු නොවේවායි පතමින් වුවත් ඇසූ පුවත මගේ දෙනෙතින් කඳුලු ගඟක් ගැලීමට තරම් සමත් විය.කුසුමා අම්මා සඳහටම ගොස් ය.දෙවියනේ .. කිසිඳු අහේනියක් නොතිබූ ඇය.ඇය යන්නම ගිහින් ය. එවැනි කෙනෙක් මගේ ජිවිතයට නැවත හමු වන්නේ ද නැත.හදවත් රෝගයකින් හිටි හැටියේ සමුගත් ඈ බැලීමට කිසිදු නෑදෑ හිතවතෙක් නැත.එකම සමීපතයා මා බව මට හැඟී ගියාට වරදක් නැත.මුන ගැසී ටික කාලයක් වුවත් මගේ ලඟම සිටි කුසුමා අම්මා මට මගේම අම්මා කෙනෙක් ලෙස හැඟේ.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

දින ගෙවී ගියේ ය.කුසුමා අම්මාගෙ හත් දවසේ දානයත් නිවාසයට දායකත්වය සපයන දායක කිහිපදෙනෙකුගේ දායකත්වයෙන් සිදුවිය.වයස්ගතවීමටත් පෙර හදවත් රෝගයෙන් ඇය අප අතරෙන් වෙන් වී ගිය දුක සැමගෙ හිතේ පැලපදියම් වී තිබිණි.කරන්නට දෙයක් නොමැත.ඇගේ ආයුෂ මෙපමණකි.


පාසලේ විවිධ වැඩ කටයුතු නිසා වැඩිහිටි නිවාසයට මා යන්නට සැරසුනේ කුසුමා අම්ම්ගේ දානයෙන් මාසයකට පමණ පසුව ය.එහි ගොස් මගේ පළමු කාර්‍ය වූයේ තව අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට ඉඩ ලබා දීමට කුසුමා අම්මාගේ කාමරය අස් පස් කිරීම ය.

සැබවින්ම එය නිදන කාමරයක් නොව මහජන පුස්තකාලයක් වැනි ය.ඒ තරම් පොත්පත් ඈ සතු වී තිබිණි.ඒ අතර එක පෙලට වූ දින සටහන් පොත් කිහිපයක් වෙත මගේ ඇස් යොමු විය.ඒ කුසුමා අම්මාගෙ දින පොත් ය.ඒ දින පොත් තුළ ඇඟේ ජීවිත කතාව ඇති බව හැඟුන නිසාම ඒ පොත් කිහිපය මගේ මල්ලෙහි ලැඟුම් ගත්තේ මගේ කුතුහලයත් සමඟිනි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඉතින් පාසල් නිවාඩු කාලය එළඹෙන දෙසැම්බර් මාසයේ සීතල රාත්‍රියක කුසුමා අම්මාගෙ දින පොත් අතර තනි වූ මා මෙතෙන් පටන් දිඟ හරින්නේ ඇඟේ ජීවිත කතාවයි.

No comments:

Post a Comment

කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...