සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
නිල්මිණි ගෙවනු ලබන්නේ සරසවියේ පළමු වසරයි.නවක වදයෙන් බොහෝ ගැහැණු ළමුන් සිය සරසවි වරමට ආයුබෝවන් කියා නික්ම යති.තවත් සමහරු හාත්පස සිය චරිත වෙනස් කරගනිමින් සරසවිය තුළ අමුතු චරිත ගොඩනඟති.තවත් සමහරු පොත් අස්සෙම හිර වී රෝබෝ චරිත මෙනි. සිතුවාට වඩා සරසවි ජිවීතය නිල්මිණීට වහකදුරු ය.කරන්නට දෙයක් නැත. පියාගේ අසීමිත තරවටු මැද දුක් ගෙවන මවට හිත කොනකින් හෝ සතුටු වීමට අවස්තාව හම්බෙන්නේ ඈ නිසාය. කල්පනා ලෝකයක තනිවී පාරේ එක් පසකින් ගමන් කල ඈ තිගැස්සුනේ කවරෙකුගේ හෝ නොමනා වචනයකිනි.
"ඒයි උඹ පද්ද පද්ද කොහෙද යන්නෙ මෙහෙ වරෙන්..අපි ඉන්නවා උඹ දැක්කෙ නැද්ද.."
ඇයට මෙවන් වචන හුරු නුපුරුදු බවක් ගෙන දුන්නේ ය.හුරු බව නම් පියාගෙ වචන ය.නුපුරුදු බව නම් පාඩුවේ පාරෙහි ඇවිද ගියා ඈට නොදන්නා කෙනෙකුගෙන් එවැනි ආමන්ත්‍රණයක් ලැබීමය.
"මොකද උඹ නිකම් අහස පොළව ගැටලන්නෙ,"
"මොකද්ද උඹේ නම .."
"ම්...මම....මන් මේ....මන් නිල්මිණි"
"මොන පීඨෙද උඹ"
"මන් කලා පී......"
වචන ගලපන්නටත් පෙර ඇගේ දිගු වරලස ඈට ඇස්වලින් කඳුලු කැට වැටෙන්නට තරම් තදකින් කවුරු හෝ ඇඳ දැමුවේය.වේදනාව හා තරහා මිශ්‍ර හැඟීමකින් පිටුපස සිට සිටි පුද්ගලයාට ඈ තදින් කම්මුල් පහරක් එක් කලේ ය.එය කෙසේ වූවද යන්න ඇයටද මතක නැත.පිටුපස සිටියේ තුන්වන වසරේ ඉගෙනුම ලබන නොහොබිනා ගති පැවතුම් ඇති කෙල්ලකි.ඇයට වසර ගණනාවක නොහොබිනාකම්වලට ලැබුණු හොඳම දඬුවම එය විය.නිල්මිණිගේ අතෙහි ඇඟිලි සතරක් ඒ කෙල්ලගේ මුහුණේ රතු සිතුවම් ඇන්දේය.
"තිරිසනී ..තෝ මට ගැහුවේ මොන හයියකින්ද."
වටේ පිටේ ජේෂ්ඨ පිරිසද වට විය.ඈට බැනුම් ගොඩකි.අර කෙල්ල හැපින්නක මෙන් ඇඟේ මුහුණට කඩා වඳිමින් බනින්නට විය.තව එකෙකුගේ සැර පහරකින් ඈ යන්තමින් බේරුණේ ඒ අසලට ඇඟේ පීඨයේම මහාචාර්යවරයෙකු පැමිණි නිසා ය.
"උඹ ආයේ අහු වෙයිනේ"
"ඕකිට මන් අපාය පෙන්නනවා මෙහෙ"
"හොඳට බලාගනින් ඕකිගෙ මූණ"
එකෙනෙකා මුමුණමින් ඈට සැර බැල්මන් හෙලමින් එතනින් විසිර ගියහ.නිල්ම්ණිගේ දෑසෙ කදුලු කැට ගොඩකි.කුමක් කරන්නද ඈට සිතා ගත නොහැකිය.අනිවාර්යයෙන් ඔවුන් නැවත දවසක ඇයව අල්ලා ගනු ඇත.කාට කෙසේ මෙය කියන්නද ඈට සිතාගත නොහැකිය.අම්මාට තවත් දුක් දිය නොහැක.සුනිත්ට පැවසුවහොත් ඔහුද යක්ශාවේෂ වී එක දෙක කරනු ඇත.ඇයගේ මනස පැටලුණු නූල් පන්දුවක් වැනිය.කරන්නට කිසිවක් නැති තන්හී ඈ සිතා ගත්තෙ එන දේකට මුහුණ දීමට ය.
දින දෙක තුනක් ගත වුවත් ඔවුන් නැවත හමු නොවීම නිසා ඈ නැවතන් නිදහසේ සරසවියේ ඇවිද එහි සුන්දරත්වය විදින්නටත්,සුනිත් සමඟ දුරකථනයෙන් දොඩමලු වන්නටත් අමතක කලේ නැත.සුනිත්ගේ දුරකතන ඇමතුමට උත්තර සැපයීමට ඈ හිඳ ගත්තෙ ලස්සනට මල් තිබුණු තරමක් පාලු ස්වභාවයක් ගත් තැනක ගල්පොත්තක් උඩය.
ඇමතුම ගන්නට දුරකතනය අතට ගත්තා පමණි.ඉඳුල් පිරුණු ජරා වතුර බාල්දියක් ඇඟේ ගත තෙමා ගත්තේ ය.ඇස් දෙකෙ ඉඳුල් ගොස් වේදනා දුන්නේ ය.
"මහ ලොකු ජූනියර් උත්තමාවී."
දෙතුන් දෙනෙකුගේ කට හඬකි.ඈ බෑගයේ තිබූ ලේන්සුවකින් ඇස් පිහද බැලුවේ කර කියා ගන්නට දෙයක් නැතිවය.ලඟ සිටියේ එදා පිරිස ය.
"උඹ හිතුවද උඹට නිදහසේ ඉන්න දීල අපි බලු කුක්කො වගේ ඉඳි කියලා.උඹ එදා හයි පාර්ට් දැම්මේ උබේ ජේෂ්ඨයෙක්ට.."
"පොත්ත සුදු උනාම උඹ මහ රැජිනද"
එකෙකු එසේ පවසා ඇඟේ බෑගය උදුරා ගස මුලට විසික් කලේ ය.අර නැහැදිච්ච කෙල්ල ඇඟේ තුන් කාලට ඇඳි රැලි සායෙහි එක් රැල්ලක් සම්පූර්ණයෙන් ඉරා දැමීය.ඉතිරි කොටසේ තිරිසන් සතෙකුටත් ඇසිය නොහැකි අසභ්‍ය වචන ලීවාය.ඇඟේ හිසට බිම තිබූ කොළරොඩු දමා ගැසුවාය.
"දැන් ඉතින් මහ රැජිණ ඔහොම පලයන් ..උඹ මේක කාටහරි කියලා තිබ්බොත් එදාට උඹට මීට වඩා දෙයක් අපි කරනවා.."
ඇයට මෙය වාවගත නොහැක.ඉරුණු සාය,අපිරිසිදු හිස්කෙස්වලට වඩා ඇගේ මනස අවුල් වී ඇත.නේවාසිකාගාරයේ මුල්ලකට වී ඇය වැලහින්නක් මෙන් හඬන්නට විය.දරාගත නොහැකිම තැන ඇය ඇය අම්මාට ඇමතුමක් ගත්තේ හිතට සැනසීම ඇති එකම තැන ඈ බැවිනි.
"අම්මේ.."
"කියන්න නිල්මිණි පුතේ මන් ලොකුඅම්මා"
"ලොකු අම්මේ මට අම්මට කතා කරන්න ඕනි ෆෝන් එක අම්මට දෙන්න"
"මගෙ රත්තරනෙ .. කෙල්ලෙ උඹට මේක හිමින් සීරුවේ කියන්න හිටියේ .."
"අනෙ ලොකු අම්මෙ අම්මට දෙන්නකො"
"පුතෙ උඹේ අම්මා .."
"කෝ අම්මා"
"අම්මා පුතේ උඹලා අපි ඔක්කොම දාලා යන්න ගියා.මමත් දැන් ඉන්නෙ මේ ඉස්පිරිතාලෙ "
නිල්මිණිගේ ඇඟට පිහිතුඩකින් ඇනින්නාක් මෙන් වේදනාවකි.දුරකතනය බිමට වැටුණේය.කර කියා ගත නොහැකි පිස්සියක මෙන් නේවාසිකාගාරයේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් තට්ටුවෙන් තට්ටුවට ඈ ඇවිද්දා ය. එක්වරම බිම ඇඳගෙන වැටුණු ඈ පැවසුවේ එකම දෙයකි.
" අම්මේ ඔයා ඕනි මට."
නේවාසිකාගාර පාලිකාවන්ගේ උපකාර ඇතිව ඈ රෝහල් ගත කර සති දෙකකි.තවමත් ඈ පිස්සියක් මෙන් බලාගත්තු අත බලාගෙනය.සුනිත් කිහිපවරක් ඈ බැලීමට පැමිණියත් ඈ ඔහුවවත් අඳුරගන්නෙ නැත. මවගේ වියෝව නිසා ඈට මෙසේ වන්නට ඇතැයි වෛද්‍යවරුන් නිර්ණය කිරීම නිසා සරසවිය තුළ ඈට සිදුවූ අවනඩුව තවමත් දන්නේ විකල් වූ සිහියට ගැඹුරින් ඇති නිල්මිණිත් එය සිදු කල අයත් පමණි.